නමෝ බුඬාය!

නමෝ බුඬාය
චිරන්තන දෘෂ්ටි වශයෙන් සහම්පතී මහා බ්‍රහ්මරාජෝත්තමයාණන් වහන්සේ ප්‍රමුඛ සමස්ත දේවසභා ඇතුලත් දේව මණ්ඩලයෝද ශ්‍රී භාර කැත්කුලකොත් ඔක්කාක උභයකුල පාරිශුඞ ශුඞ වංශ ඇති අඛණ්ඩසන්තති රාජකුල මස්තකයේ උපන්නාවූ රාජකීය මහා සම්මතාදී පරම්පරානුයාත ත්‍රීසිංහළබුඬක්ෂේත්‍රාග්‍රරාජශ්‍රීපදප්‍රාප්තාභික්ශික්ෂිත මහාස්වාමි මහාරාජෝත්තමයාණන් වහන්සේලාද ස්වකීය ශීර්ෂ මස්තකයේ රුවා ප්‍රමුඛ ප්‍රධාන කොට දරන ලද්දාවූ සම්බුඬශාසනයේ චින්තනදෘෂ්ටි මාර වීර වාරණ කණ්ඨිරවායමාන ශ්‍රී සඬර්‍මවර චක්‍රවර්තිස්වාමී වූ අප උතුම් සර්‍වඥයන් වහන්සේ නාමයට උපහාර වම්හ

වැව

මිනිසා විසින් නිමැවූ (එහෙත් ස්වාභාවික) මිහිතලයේ අතිශය තිරසාර සංවර්ධන ව්‍යාපෘතිය.

මෙම බ්ලොග් අඩවිය පුරාවට ඇති දැනුම මගේ දනුමක් නොවන බව ප්‍රකාශ කරමි. මේ දැනුම මා රැස් කලේ රට පුරා තැන තැන අස්සක් මුල්ල්ලක් නෑර ඇවිදිමින්ය. මේ දැනුම සහ තොරතුරු ලබා දුන්නේ සිංහළ ගැමියන් ය. ඔවුන් කිසි කලෙක මාගේ මතකයෙන් නොමියෙන අතර මේ දැනුම ඔවුන්ට උපහාරයක් ම වේවා !!

මා කලේ තැන තැන ඇවිද තොරතුරු රැස් කිරීමත් විවිධ පොත පත කියවා එම තොරතුරු එක් තැනකට ගෙන ඒමත් පමණි. ඒ දැනුමෙන් සන්නද්ධ මා ඒ දැනුම බෙදා දෙන්නට ද කැමැත්තමි.

විදේශිය ජාතිකයන් විසින් හඳුන්වා දුන් විෂය නිර්දේෂ වලට සීමාවූ පාසැල් අධ්‍යාපනය මුල කොටගත් සමාජයක දශක ගණනාවක් හැදී වැඩෙන මිනිසුන්හට, විශේෂයෙන්ම වැව් බැඳි රටතොටෙන් ඈත ජීවත් වන පිරිසට හා බටහිර පන්නයට කැමති ගමේ ගොඩේ ජීවත් වන අයවලුන් බොහොමයකට වැව යනු බැස නාන්නට පුලුවන් තවත් එක් ටැංකියක් ය (tank) හෝ ජලාශයක් (reservoir) ය පටු යන අදහස ඇති බව පෙනේ. වර්තමාන ඉංග්‍රීසි භාෂාවේ lake යන්න වැවට සමාන පදයක් ලෙස භාවිතා කරයි. මෙය ද සම්පූර්ණයෙන්ම වැරදිය. වැව් යනු තවත් ජලය රැස්කරන/ එකතුවෙන තැනක් පමණක් නොවේ.

මෙම දැනුම එක් රැස් කරන්නට එලැඹෙන විට මට වයස අවුරුදු විස්සක් පමණ විය. හැතැප්ම සිය ගනනකට වැව් නොපිහිටි ඉසව්වක කුඩා කල සිට හැදී වැඩුනු හෙයින් ද, පාසැල් වලින් ඉගැන්වූ විශය නිර්දේශ මඟින් මනස කොටුකර තැබු හෙයින්ද වැව් ගැන මා තුල ද වැඩි දැනුමක් නොවිනි. කුඩාකල දිනපතා වික්ටෝරියා ජලාශයේ නාන්නට ගිය මට අම්මා කාරණා කීපයක් කියා දුන්නාය. අනුරාධපුරය සහ පොලොන්නරුවේ වැවු පිහිටා ඇති බවත්, අතීත රජවරු සැදූ වැව් දහස් ගණනක් රටේ ඇති බවත් ඇය කියා සිටියාය. බොහෝ වැව් වික්ටෝරියාවට වඩා විශාල බවත් වික්ටෝරියාව සාදන කාලයේ දී මෙන් වැව් තැනු කාලයේ මිනිසුන්ට මිනිසුන්ගේ ඉඩම් වලට හෝ කැලෑවට හානි නොවූ බව ඈ කියා දුන්නාය. වැව් පිරෙන්නේ අහස් දියෙන් බැව් කියා දුන් ඈ ගලන ගඟක් හරහා වේල්ලක් බැන්ඳීමෙන් ජලාශ තැනෙන බව වික්ටෝරියා ජලාශය පෙන්වමින් කියා දුන්නාය. වැව් පිලිබඳව මගේ දැනුම එපමණක් ම විය.

එකළ අප ජීවත් වූ තෙල්දෙණිය බඹරගල ආසන්නයේම වැවේ ගම නම් ගමක් විය. වික්ටෝරියාව ජලාශයක් නම් වැවේ ගමට ජලාශයේ ගම කියන්නේ නැතුව වැවේ ගම කියන්නේ ඇයි දැයි මාහට කුඩාකල සිටම ගැටලුවක් විය. එදා මෙන්ම අම්මා ට අදද එයට පිලිතුරක් නැත! මේ ගැටලුව ලිහා ගැනීමට මට වසර ගණනාවක් ගතවිනි. අපේ ඉතිහාසය වසංකලා මෙන්ම ඉතිහාසය සහ ශිෂ්ඨාචාරයේ එක වැදගත්ම අංගයක් වන වැව ද අපෙන් වසං කර ඇත.

මහා ශිෂ්ඨාචාරයක ජීවනාලිය වු වැව හිතාමතා විනාස කිරීම වාවා ගත නොහැකිය!

1. වැවේ ගම - වික්ටෝරියාව හිඳෙන කාලය (පිටුපසින් තෙල්දෙණිය බඹරගල කන්ද දිස්වෙයි ) 2. පිරෙන කාලය

1. වැවේ ගම - වික්ටෝරියාව හිඳෙන කාලය (පිටුපසින් තෙල්දෙණිය බඹරගල කන්ද දිස්වෙයි )  2. පිරෙන කාලය
කුඩා කල පටන් ම මාගේ වන සතුන් ට සහ කැලය ට දැක්වූ ඇල්ම ආදරය බදු හැගීමක් වැව් ගැන නොතිබුනා ම නොවේ. නමුත් පාසැල් පොතෙන් අප උගත් සිරිලක ඉතිහාසය වැරදි යැයි හැගුනු දිනයේ පටන් ම වැව යනු එම ඉතිහාසය ට හිමි මානව ශිෂ්ටාචාරයේ අනර්ඝතම තිරසාර සංවර්ධන ව්‍යාපෘතිය බැව් මට පසක් විය.
ඉතිහාස සෙවීමේ කර්තව්‍ය ට පෙර මම වැව ගැන සොයාබලන්න ට ඉටා ගතිමි.

පාසැලේ අයියනායක කවි පන්තිය උගන්වන දිනයේ ගුරුවරයෙකු අපිට වැව ගැන කියා දුන්නා මතකය. මාගේ මෑණියන් ට අමතරව දෙවනුව වැව ගැන කියා දුන්නේ ඔහු ය. මහසෙන් දෙවියන් ගේ කථාව ත් මම ඉතා ආශාවෙන් කියවූ නමුදු ඒවායේ සැබැ වටිනාකම අප ට තේරුම් කරවීම ට වැව් වලින් ඇත ප්‍රදේශය ක නගර බදව බටහිර දැනුමේ වහල් කමේ ජීවත් වූ අපේ භාෂා ගුරුවරුන් ට නොහැකි විය. ඒ කාරණය ද එතරම් වරදක් නොවන වග වැටහුනේ රජරට ඉපිද බටහිර උජාරුව ට ජීවත් වන උපන් ගම පමනක් රජරට වූ බහුතරය ද, මා ඇසුරු කල බොහෝ පුද්ගලයින් ද අතුරින් වැවේ අගය ගැන දැන සිටියේ කිහිපදෙනෙක් පමනක් බැව්නි.
මා වැව පිළිබඳව සියල්ල විස්තර කරනුයේ වැව යනු ටැංකියක් නොවන බැව් පෙන්වීමට ය. වැවේ වටිනාකම අප තවමත් වටහා ගෙන නැති බව පෙන්වීමට ය.

මෙහි දී සිංහළ ජාතිය, සිංහළේ නමැති භූමිය (වර්තමාන ශ්‍රී ලංකාව), සිංහල ජන විඥ්ඥාණය ගැන ද යම් යම් තැන් වල කියැවෙයි. එසේ කියැවෙන්නේ එසේ නොකියා බැරි නිසා ය. මන් ද කරුණු කාරණා විවෘත ව මැදහත් ව පක්ශක්ග්‍රාහී නොවී සලකා බැලූ කල වැව ට හිමි නිසි තැන ලබා දීම ට වර්තමානයේ සිංහළයන් ට නොහැකි නිසා ය. වැව් ගැන කතාකිරීමේදී සිංහළ ජාතිය සහ සිංහළේ නැමති භූමිය ගැන කතා නොකර බැරිය. මන්ද වැවු ඇත්තේද වැවු තැනුනේද සිංහළේ සිංහළයන් අතින් පමණක් බැවිනි. වැව් ගැන ලිවීම ට ඇති දෑ අනන්ත ය. කාලය ඇතිපරිදි උවමනා කරුනු පමණක් සඳහන් කරන්නටත් අනිසි පුද්ගලයන් අනිසි ආකාරයෙන් මේ දැනුම භාවිතය වැලැක්වීමට සමහරක් කරුණු මෙහි සඳහන් නොකරන්නටත් මා හැකි සෑම අයුරින්ම උත්සාහ කර ඇත.

මෙහි ඇති කරුණු කාරණා කියවා බලා ඔබගේ දැනුම සදහා ඒවා යොදා ගත්තා ට කම් නැත. නමුත් වැව් පිලිබද ඊනියා බටහිර පර්යේශන හෝ නිබන්ධන සදහා, දේශපාලණික අභිමතාර්ත සඳහා හෝ මේ තොරතුරු යොදා නොගන්නා මෙන් ඉල්ලා සිටිමි! මන් ද වැවේ තාක්ෂණය හො කර්යභාරය තේරුම් ගැනීම ට තරම් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය තවම ත් මුහුකුරා ගොස් නොමැති හෙයිනි. සංයුක්ත චින්තනයේ මානය තවම නොවැටහෙන බටහිර චින්තකයන් පෝෂනය කිරීම ට වැවු පිළිබඳ ඊනියා වාර්තා සැකසීම කිරිහොදි සමඟ දූරියං කෑම වැනිය!

කොටින්ම වැවෙන් බටහිර චින්තනය ට ගත හැකි වැඩක් නොවේ.

තමාගේ උපාධි නිබන්ධනය කෙසේ හෝ අවම ආයසයකින් නිම කිරීම ට කොහෙන් හෝ තැනකින් විස්තර රැගෙන ලියන බහුතර පිරිසක් අද සමාජයේ ඇත. ඔබගේ බටහිර විද්‍යා නිබන්ධනය සදහා වැව් ගැන වියුක්ත ව කරුණු රැස් කරනවා ට වඩා හැකි නම් වැව් තනා දී තවත් ජලය නොමැති ව ලොකයේ ජීවත් වන පිරිසක ගේ ජල අවශ්‍යතාවය සැපිරීම වඩා උචිත වේ.

වැව් ගැන බටහිර කන්නාඩි පැලැද පර්යේශන කිරිම ට මම උදක්ම විරුද්ධ වෙමි. බටහිර විද්‍යා ඇසින් වැව ප්‍රතිස්ංස්කරණයට මම අකැමැති වෙමි. 100% උපරිම කාර්යක්ශමතාවයෙන් වසර තුන්දහසකටත් වඩා කාලයක සිට පැවතෙන අතිශය ස්වාභාවික වැව් පද්ධතියට පර්යේශණ කිරීමෙන් වැඩි දියුණු කළ හැකි දෙයක් නැත!! හැකි නම් වැවු පද්ධතියට ගැලපෙන් අයුරින් වර්තමාන ජීවන ක්‍රමය රාජ්‍ය ප්‍රතිපත්ති සහ සංවර්ධන පිලිවෙත් සකසා ගැනීම නම් සුදුසු වේ!!

මෙහි ඇති අඩු පාඩු භාෂාව, කරුණු පිලිගැන්වීම හෝ ඕනෑම දෙයක් පිලිබද ඔබේ අදහස් උදහස් යෝජනා අගය කොට සලකමි. රටේ ඒකීයභාවය නැතිකරීම මූලික කොටගගත් දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධාකාරයේ පද වදන් යොදමින් මෙහි නිරන්තරයෙන්ම යෙදෙන සිංහළ යන පදය පිලිබඳ විවිධාකාරයේ ගැටලු පැන නංවන අදහස් වලට උදහස් වලට මම ප්‍රතිචාර නොදක්වමි!
No posts.
No posts.